මහා ශ්රමදානය

“අබේ මාමයි නන්දා නැන්දයි කොහොමද?”

කමලා මම කාරෙකෙන් බහිනකොටම ඇහුවා.

මම ගමෙන් ගෙනා පොල්ගෙඩි ගෝනිය ඩිකියෙන් එලියට ගත්තා.

“නරකක් නෑ. …. ඇයි එහෙම ඇහුවේ?”

“නෑ…. කාරෙක නවත්තලා සීට් එකෙන් හෙල්ලෙන්නෙ නැතුව විනාඩි පහක් විතර මොනවදෝ හිත හිතා ඉන්නවා දැක්කම මට හිතුනා….”

“ඒතරම් ලොකු දෙයක් නෙවෙයි…. අපි මේ බඩු ටික ඇතුලට අරන් ඉවරවෙලා තේ එකක් බීලා කතා කරමු”

කමලා දන්නවා මම එහෙම කිව්වොත් ආයෙ තේ එකක් නැතුව කිසි කතාවක් නොවෙන බව. විනාඩි විස්සක් යන්න ඉස්සර ගමෙන් ගෙනා පොල්, දෙල්, පලාවර්ග අහුරලා තේ කෝප්ප දෙකක් ඇරගෙනයි අපි ඉස්තෝප්පුවේ වාඩි වෙලා කතාවට ලෑස්ති උනේ.

“කෝ පොඩ්ඩො?”

“පුතා එනකොට රෑවෙයි කිව්වා, දුව මැනික්ලගෙ ගෙදර ගියා; දැන් එයි. ඉතින් මොකද්ද කරදරේ?’

“කරදරයක් නෑ කමලා … මාමා අපිට එන්න කිව්වා එන වීකෙන්ඩ් එකේ ගමේ … මං බැලුවේ කොහොමද පොඩ්ඩො දෙන්න ගෙදර දාලා අපි දෙන්නම යන්නේ කියලා… “

“මොකද වීකෙන්ඩ් එකම? පාටියක්ද?”

“නෑ ශ්රමදානයක්. අර පාලු තේ වත්තේ අලුතෙන් ඉඩම් හම්බුවෙලා ගෙවල් හදන මිනිස්සුන්ට පාරක් කපලා දෙන්න…”

කමලට හොඳටම හිනා ගියා.

“ඇයි ඔයා? ලඟක ඉඳන් පාරවල් කපන්න දක්ශ වෙලාද? අනික… මට බෑ පස් කූඩ උස්සන්න!”

“මම අර මගෙ යාලු මිනින්දෝරුවා, සරත් පෙරේරා, එහෙ යැව්වා ….”

මෙතන මට කමලට කියන්න බැරි කාරනයකුත් තියෙන නිසා මම බොහොම පරෙස්සමෙන් කතාකලේ. මම ‘අප්පුහාමී’ දෙයියෝ ගැන කාටවත් කියලා නෑ.

ශ්රමදානෙන් කපන පාර අට්ටික්කා ගහ ලඟින් යන නිසා පාර කපන්නන්ට වගේම අනාගතේ පාර පාවිච්චි කරන්නන්ටත් අප්පුහාමිගෙන් කරදරවෙයි කියලා මාමට හොඳටම විශ්වාසයි. අප්පුහාමී හඳුනන්නෝ හැටියට මාමට ඕනෑ මමත් එකතුකරගන්න මේකට විසඳුමක් සොයාගන්න.

“… සරත් පාර ලකුනුකරලා දීලා. මට තමයි බලාගන්න වෙන්නේ වැඩේ හරියට වෙනවද කියලා. ඒ කියන්නේ ඉන්ජිනේරු පැත්තෙන් - හෝදාගෙන යන තැන්, සපත්තු කානු දාන තැන් වගේ දේ…”

“අනේ මට ඔය සපත්තු නෙවෙයි සෙරෙප්පු කානුත් එපා. හැබැයි මාමලා බලන්න ආසයි; විජේලා පද්මලත් හම්බුවෙයි නේද? ඔයා එදා කියනකම් මම දන්නෙම නෑ පද්මට දුවකුත් ඉන්නවා කියලා!”

“එතකොට අපි දෙන්නා ගියොත් රෑකට දෙකකට පොඩ්ඩෝ තියලා යන්න පුලුවන්ද?”

“අනේ උන් දෙන්නා හොඳටම සන්තෝස වෙයි අපෙන් ගැලවිලා දවසක් දෙකක් ඉන්න… හැබැයි මම අර සීලවතීට ඇවිත් රෑ ඉන්න කියන්නම්”

………………………

“අප්පුහාමී මොකවත් කිව්වද, අලුත් පාර ගැන?”

අබේ මාමයි මමයි සිකුරාදා රෑ කෑමට ඉස්සර මාමගෙ “කංතෝරු කාමරේ” අරක්කු උගුරක් බොන ගමනුයි මම මෙහෙම ඇහුවේ. මාස ගනනකින් හමු නොවූ නිසා කමලයි නැන්දයි කෑම මේසේ ලඟ බර කතාවක්. කුස්සි අම්මා අතින් කෑම ලෑස්ති වෙන්න තව පැයක් වත් යයි කියලා මට හිතුනා.

“….ම්ම්….කිව්වෙ නම් නෑ….. ඒ උනාට මගෙ හිතේ මොකක් හරි මරිකමක් කරයි…. ඒකට වැරැද්දක් කියන්නත් බෑ ඉතින්… අවුරුදු සීයකට වැඩිය හිටපු ගෙදර ලඟට මිනිස්සු පස් පුරවනකොට….”

“පාර වෙන පැත්තකින් කපන්න බෑ?”

මාමා ඔලුව හෙල්ලුවා හෙමින් හෙමින්.

“පාරට හොඳම තැන එතන…. අනික් පාරකට සුදුසු තැන් පුතාගෙ යාලු මිනින්දෝරුවා හොයලා බැලුවා. …. නමුත් වියදම බොහෝම වැඩිවෙයි කිව්වා …. ඒ වගේම කරත්තයක්වත් ගන්න බැරි තරම් කන්ද… නෑ…. පුතා…. අට්ටික්කා ගහ ලඟින් කපන එක තමයි හොඳ… හැබැයි වියදම වගේම අප්පුහාමිගෙ ඕනෑ එපාකමුත් අපි බලන්න ඕනෑ නේද? හ්ම්….?.......වැඩේ තියෙන්නේ අපි දෙන්නා විතරක් හඳුනන අප්පුහාමී කියල කෙනෙක් ගැන නොකියා කොහොමද එයාගෙ ඕනෑකම් වලට සපෝට් දෙන්නේ?”

“පරිසරය? අයිතිහාසික වැදගත් කම? …. ජල සංරක්ශනය? සෝදා පාලුව නැවැත්වීම?” මේ අදහස් ඉදිරියට දැම්මට මටම හිනා ගියා ඒවා ගැන.

“ඔවු ඔවූ, මම දන්නවා දේශපාලනේ කරන අයියලා නිතරම ඔහොම දේ කියනව යම් ව්යාපාරයක් පටන්ගැනීමට හෝ නැවැත්වීමට පැහැදිලි හේතුවක් දෙන්න බැරි උනාම…”

“මාමා කියපු ඔය අලුත් ඉස්කෝලේ මහත්තයාවත් එව්වා විශ්වාස කරන්නෙ නැද්ද?”

“මිස්ට එදිරිසිංහද? අපෝ මිනිහා ඒ වගේ මෝඩයෙක් නෙවෙයි. එයාගෙ අලුත් පන්නයේ අදහස් බොහොම ඇවිත් තියෙන්නේ ඇත්තටම ගමට සේවයක් කරන්න මිසක් දේශපාලන වේදිකාවකින් ආපු හිස් කතා වලින් නෙවෙයි… ජේ වී පී කාරයෙක්ද කොහෙද! ඇත්තටම මම හිතන්නේ මිනිහා අපෙ ගමට හොඳටම හොඳයි… අපෙ ගමේ උන් මිනිහා ‘පිට ගම් කාරයා’ කියලා කොන් කෙරුවෙ නැත්තම්”

“මං හිතුවේ මාමා මිනිහට විරුද්දයි කියලා පාර ගැන!”

“එයා අට්ටික්කා ගහ කිට්ටුවෙන්ම පාර යන්න ඕනැ කියන එකට මම විරුද්දයි… සම්පූර්නෙන්ම විරුද්දයි. නමුත් පාරට? මම ශ්රමදානෙට කෑම බීමත් දීලා මිනිස්සුත් එකතු කරනවා වැඩේ හොඳ නිසා…. එදිරිසිංහලා වගේ කට්ටිය ගමට ඕනෑ… හැබැයි ටිකක් ගම ගැන ඉගෙන ගන්නවානම්…”

“හෙට උදේ මට හම්බවෙයි නේ?”

“ඔවු…. මං කැමතී පුතා මිනිහත් එක්ක ටිකක් කතා කරනවානම්,,,” මාමා මගෙ වීදුරුව දිහා බැලුවා. “….හ්ම්… තව එකක් ගන්න වෙලා තියෙනවා ගෙදර ඇත්තෝ කොහුමිට එලියට ගන්න ඉස්සර….”

…………………

උදේ කෑමෙන් පස්සේ හත හමාරට විතර මාමයි මමයි කපන්න ලකුනුකරලා තිබුන පාර පටන්ගන්න තැනට යනකොට මිස්ට එදිරිසිංහ කලින්ම ඇවිත් එතන, තව කීප දෙනෙක් එක්ක. දැකපු ගමන් මිනිහා මගෙ හිතට ඇල්ලුවා. කතා විලාශය විතරක් නෙවෙයි මිනිහගෙ සිත්ගන්නා හිනාවත් කඩවසම් පෙනුමත් නිසා එයා පාසැලේ මෙන්ම ගමේද ජනප්රිය උනොත් ඒකට මම පුදුම වෙන්නෙ නෑ. නමුත් අපිට කතා කරන්න වැඩි වෙලාවක් ලැබුනෙ නෑ. වැඩ මුලුව පටන්ගැනීම පංසලේ හාමුදුරුවන්ටත් ග්රාමසේවක මහතාටත් බාරදී අබේ මාමත් මිස්ට එදිරිසිංහත් අයින් උනා. හාමුදුරුවෝ පොල්තෙල් පහනක් දැල්වීමත් ග්රාමසේවක මහතාගේ විනාඩි දෙකේ කතාවත් ඉවර වූ වහාම ශ්රමදාන සහබාගිවන්නෝ කට්ටි වලට බෙදා, එක එක කට්ටියට වැඩ බාරදුන්නේ ග්රාමසේවකයි. පිරිස විසිර යන්න ඉස්සර මාමා අප්පුඩියක් ගසා සේරටම ඇහෙන්න කිව්වේ තේ වතුර නමයටත් එකොලහටත් එන බවත්, පාර ගැන ප්රශ්න ඇතිනම් එදිරිසිංහ මහත්තයා සමග කතා කරන ලෙසයි.

මම මේ වගේ ශ්රමදානයකට අංතිමට එකතු උනේ ගමේ ඉස්කෝලේ හතරේ පංතියේ ඉන්න කාලෙයි - ඉස්කෝලේ පිට්ටෙනිය ලොකු කිරීමට. මේ තරම් ඇඟ මහංසි වෙන වැඩක් කරලා මට පුරුදුම නෑ. අලවංගුවකින් ගල් පෙරලීම, පස් කපා තාච්චි වලට දැමීම, උදැල්ලෙන් බිම කෙටීම - මට හොඳටම අමතකවෙලා තිබුන මාංසපේශි තිබුනේ/නැත්තේ කොහෙද කියලා හොයාගන්න පලවෙනි පැය දෙකෙන් මට පුලුවන් උනා. නමයට ලැබුන බනිස් ගෙඩිය කාලා තේ එකත් බීලා වාඩි වෙලා හිටි ගලෙන් නැගිටින්න යනකොට මට දැනුනා ඇඟේ හතර කොනින් එන වේදනා. මං හිතන්නේ මගෙ අමාරුව දැකලා වෙන්න ඇති මිස්ට එදිරිසිංහ මට එයා පස් කපන තැන ලනුව අල්ලන රස්සාව දුන්නේ.

ශ්රමදානේ ඉවරවෙලා දවල් එකට විතර අපි ගෙවල් බලා යන්න පිටත් වෙනකොට මිස්ට එදිරිසිංහ තව ඉස්කෝලේ ළමයි කීපදෙනෙක් එක්ක තවම පස් අදිනවා; අට්ටික්කා ගහ කිට්ටුව.

‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’

ඇලෙන් නාලා දවල් කෑමෙන් පස්සේ මම හාන්සි පුටුවේ දිග ඇදිලා පත්තරේ කියෙව්වා. මාමයි නැන්දයි දවල්ට කාලා ටිකක් ඇලවෙන එක සිරිතක් නිසා කමලත් කවදාවත් නැතුව ඇතුලේ කාමරේක හාන්සිවෙලා පොතක් කියවනවා. මම කොයි තරම් නොනිදා ඉන්න මහංසි ගත්තත් විනාඩි දහයකට වැඩිය පත්තරේ කියවන්න නැතුව ඇති. කොහොමටත් මට මගේ අවට පරිසරේ නැවතත් හොඳ සිහියෙන් දැනුනේ කමලා මගේ නලලට අත තිබූ විටයි.

“හොඳටම නින්ද ගිහින්… ඇඟේ අමාරුවට උනක් වත් හැදිලද කියලා බැලුවේ”

“උනක් නම් නෑ … හැබැයි ඇඟ නම් ගල් මෝලෙට අහුවෙලා වගේ… ආයෙ දවස් කීයකට ඇවිදින්න බැරිවෙයිද කියලා මම හිතුවේ…. මම හුඟක් නිදා ගත්තද? දැන් වෙලාව කීයද?”

“නෑ තව මාමලා එහෙමත් නැගිටලා නෑ…. පහවත් වෙලා නෑ. මම තේ එකක් හදා ගත්තා, ඔයාටත් එක්ක”

පොඩි කනප්පුව උඩ උනු තේ කෝප්පයකුත් බනිස් කෑලකුත් මට කමලා ඔලුවෙන්ම පෙන්වුවා. ඒක බොන්න මම ඇඟ කෙලින් කරගත්තේ බොහෝම අමාරුවෙන්, කමලගෙ හිනා මැද්දේ.

“අප්පේ නාකි වෙච්ච ඉක්මන!”

අපි දෙන්නා කතා කර කර ඉන්නවෙලාවේ මාමයි නැන්දයිත් එලියට ආවා.

“පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා!….මගෙ ඇඟ තලලා දැම්මා වගේ” මාමා කිව්වේ මම නැගිට පිරිනැමූ හාන්සිපුටුවේ දිගා වෙමින්.

“ඔහොම තමා වයසේ හැටියට වැඩ කරන්න ඉගෙන ගත්තෙ නැති උනාම” නැන්දටත් කමලට වගේම මාමගෙයි මගෙයි ඇඟේ අමාරු විහිලුවක්.

“හැබැයි එකක් කියන්නම්…. වැඩේ නම් හොඳට කෙරුනා” මාමට හිතට අමාරුවක් නෑ වගේ අට්ටික්කා ගහේ ප්රශ්නේ ගැන.

අපි ටිකක් නිශ්ශබ්දව හිටියා.

“අර එදිරිසිංහ හොඳ මනුස්සයෙක් වගේ” මම එහෙම කිව්වේ කතාවක් පටන්ගන්න මිස එදිරිසිංහ ගැන ඇති උනන්දුවක් නිසා නෙවෙයි.

“හ්ම්…”

අපි කතාවට මාතෘකාවක් නැතුව ඉන්න වෙලාවෙයි ටිකිරිබංඩා මිදුලට ආවේ.

“හා ටිකිරිබංඩෝ… මොකොදෑ මේ ගොම්මන් වෙලාවේ?”

ටික්කා බිම බලාගෙන ටිකක් ඇඹරුනා.

“… නිලමේ හම්බවෙන්න….”

ඒ කියපු විදිහෙන් මාමට තේරුනා මේක කංතෝරු කාමරේ වියයුතු සාකච්චාවක් කියලා.

“හ්ම්… වරෙන්කෝ…” මාමා පුටුවෙන් නැගිට්ටේ අමාරුවෙන්.

“මොකද මන්දා….” නැන්දා ඒක කිව්වේ කාගෙන්වත් අහන ප්රශ්නයක් හැටියට නෙවෙයි.

විනාඩි පහක් යන්න ඉස්සර මාමා මට කංතෝරු කාමරේට කතා කලා.

“ටිකිරිබංඩා දැන් කියාපු එක මේ මහත්තයට කියාපන්”

ටික්කා මං දිහා බැලුවේ රහසක් කියන්න යන කෙනෙක් වගේ.

“එදිරිසිංහ ඉස්කෝලේ මහත්තයට අරනෝලිස් කඩමන්ඩියේ සේරටම අහෙන්ට බනිනවා …. පියදාසගෙ කඩෙන් අරක්කු බීලා හෙලුවෙන් ඇලට බැහැලා නෑවා කියලා…. සමූපකාරේ වීරසේකර මහත්තයා මට කිව්වා ඇවිත් නිලමෙට කියන්ට කියලා….“

මම මාමා දිහා බැලුවා. මාමා ඇස්පිලි නොගහා මා දිහා බලාගෙන හිටියා. කතාකලේ ටික්කා දිහා නොබලා - “වීරසේකරට කියාපන් මම එනවා කියලා…. පුලුවන් නම් අරනෝලිසුත් නවත්තාගන්න කියපන්”

ටික්කා කාමරෙන් එලියට යනකම් මාමා කිසි දෙයක් කිව්වෙ නෑ.

“අප්පුහාමිට කතාකරන්න කාලේ!”

“ඇයි මාමා? සේරටම ඉස්සර එදිරිසිංහට කතා කරන්න වටිනවා නේද? ගුරුවරයෙක් බීලා හෙලුවෙන් නටන එක එයාටවත් ඉස්කෝලෙටවත් හොඳ දෙයක් නෙවෙයි”

මාමා යන්තම් හිනාවක් පෙන්වුවා.

“එදිරිසිංහ බොන්නෙ නෑ!”

“මාමා කියන්නේ කවුරුහරි මිනිහට බලෙන් පෙව්වා කියලද?”

මාමගෙ හිනාව අඩු උනේ නෑ.

“එහෙමනම් ගමේ එක්කෙනෙක් නම් නෙවෙයි… මම කියන්නේ, මම එදිරිසිංහ නුවර යැව්වා දෙක හමාරේ බස් එකේ කපපු පාරේ පින්තූර ගිහින් අපෙ මනතුංග මල්ලිට පෙන්වන්න - මනතුංග මල්ලී මට කියලා තිබුනා අද වැඩේ හොඳට කෙරුනානම් ප්රාදේශීය සභාවෙන් සෑහෙන ගනනක් වෙන්කරවා ගන්න පුලුවන් කියලා පාර සම්පූර්න කරන්න. මම ඇහැරුන ගමන්ම මලයට කෝල් කරා… එදිරිසිංහ පින්තූර දුන්නා විතරක් නෙවෙයි පැයක් විතර ගමේ දිනුවට අදාල ප්රොජෙක්ට් ගැන කතා කරාලු…. මනතුංග මල්ලී වෝස් වෙරි ඉම්ප්රෙස්ඩ්… ඒ කියන්නේ ඔය හෙලුවෙන් නානවා කියන වෙලාවේ මිනිහා නුවර!”

“කවුදෝ තරහ මිනිහෙක්…. ද?.... තරහ … අ… දෙවියෙක්ද?”

“පුතා එනවද මාත් එක්ක පොඩි ගමනක් යන්න?”

…………………………..

මාමයි මමයි අට්ටික්කා ගහ ලඟ බෝක්කුව උඩ වාඩි උනේ කිසි කතාවක් නොකර. අපි දෙන්නගෙම හිතේ තිබුනේ මේ වගේ කරදර කොයිතරම් දුර දිග යයිද කියලා.

“මාමලා බෑනලා වැඩ කරලා මහංසියෙන් වගේ!”

අප්පුහාමිගෙ කටහඬ ආවේ අට්ටික්කා ගහේ පහතම අත්තෙන්.

“ඔබතුමා කවද්ද හෙලුවෙන් නාන්න පුරුදු උනේ?” මාමගෙ කටහඬ කෙලින්ම ගුරුවරයෙකුගෙ වගේ.

“ඒක ඉතින් සේරගෙම ජාතික ඇඳුම නේ?”

මාමා නැගිට්ටා. ගතෙන් කෙසේවෙතත් හිතෙන් ඒ වෙලාවේ මාමා අඩි සීයක් උස වගෙයි මට දැනුනේ.

“ඔබ තුමා දන්නවද මේ වගේ විහිලු වලින් වෙන විනාශ? හ්ම්? ටිකක්වත් හිතලා බැලුවද? මොලේ පාවිච්චි කලාද? මොලේ තියෙනවද? මට පේන්නේ ඔබ තුමා කිසිම හිතක් පපුවක් නැතුවයි මේවා කරන්නේ!”

“ඒ…. කෑගහලා සුදනෝ වෙන්නා බෑ මහත්තයා. මහත්තයට හොඳටම තරහ ගිහින් අර අලුත් ගුරුතුමාට පොඩි කරදරයක් කියලා. ඒක මට තේරෙනවා. ඒක සාදාරනයි….නමුත් මගෙ නිවාසේ, අවුරුදු සීයක් හිටපු තැන, පස් පුරවලා කාබාසිනියා කරනවට කාටද තරහ යන්නේ? කවුද කෑ ගහන්නේ? මං ඉන්න බවවත් පිලි නොගන්න මොකාද මගෙ පැත්තට කතා කරන්නේ?.... අ…. තේ එකක් ඕනද? මට පුලුවන් හදන්න…. මං හිතන්නේ…..”

මාමගෙ තරහ සම්පූර්නෙන්ම නිවිලා ගියා. මටත් අප්පුහාමී ගැන පව් කියලා හිතුනා. අපි දෙන්නම බෝක්කු බැම්මේ ආයෙත් වාඩි උනා. අප්පුහාමිත් අපි ඉස්සරහ බිම වාඩි උනා. ඊලඟ විනාඩි දහය ඇතුලත අපි ප්රශ්න ගොන්නක් විසඳුවා වගේම කාරනා කීපයකට එකඟඋනා.

අප්පුහාමිගෙ පැත්තෙන් නැවත ගමේ මිනිස්සුන්ගේ “අනුපිටපත්” හැටියට ක්රියා නොකරන්නත් මිනිසුන්ගේ පැත්තෙන් අට්ටික්කා ගහ මුලට ගල් පස් දමා කරදර නොකරන්නත්, අවුරුද්දකට වරක්වත් ගස ලඟ පූජාවක් පැවැත්වීමටත් එකඟ උනා.

අප්පුහාමිත් මාමත් මේවට එකඟ උනාට මට තව ප්රශ්න තිබුනා.

“එතකොට අරනෝලිස්? ගමේ හුඟක් අයට ඇහුනා මිනිහා කියපු දේ”

අප්පුහාමිටඑ එක ප්රශ්නයක් නෙවෙයි. “මිනිහා පියදාසගෙ කඩෙන් බීලා ඇවිල්ලයි කෑ ගැහුවේ…. පියදාසටත් මතකයි බොන්න දෙනවා!” අප්පුහාමී කීප දෙනෙකුගෙ මතකයන් වෙනස් කරනවට මම කැමති නොවුනත් මේ ක්රමයට කරදර බොහොමයක් අඩුවෙනබව මට විශ්වාසයි.

ආපහු ගෙදර එන ගමන් මම මාමගෙන් ඇහුවා අප්පුහාමිගෙ කොන්දේසි අපි කොහොමද ඉෂ්ට කරන්නේ කියලා.

මගෙ ප්රශ්න වලට උත්තර දෙනකොට මාමගෙ මුහුනේ පොඩි හිනාවක් ඇඳී තිබුනා - හරියට ඉතාම බුද්ධිමත් කෙනෙක් කුඩා දරුවෙකුට යමක් පැහැදිලි කරනවා වගේ.

“එදිරිසිංහට ආරංචි වෙනවා අද සිද්ද වෙච්චි දේ. එයා ඒක තේරුම් ගන්න බලන්නේ ශරීරෙන් එයා වගේ කෙනෙක් තව ගමේ ඇති කියලා. වැරැද්දක් නොකරපු නිසා එයාගෙ හිත පිරිසිදුයි; ඒ නිසා කිසි විදිහකට පෙළෙන්නේ නෑ. අරනෝලිස් බිව්වද නැද්ද කියන එක එයාට ප්රශ්නයක් නෙවෙයි - එදිරිසිංහ හැදිච්චි මිනිහෙක් නිසා”

මාමා තව විනාඩියක් නිශ්ශබ්දව ඇවිද්දා.

“අට්ටික්කා ගහ පරෙස්සම් කරන එක එදිරිසිංහට ඒත්තු ගන්වන්න අමාරු නෑ. පරන ගහක්… ගහ ගැන ජන කතා ගෙතිලා තියෙනවා; සමහර එව්වා දෙවි කෙනෙකුත් ගාවලා… කරදර මැද්දේ මෙහෙම ගහක් රැක ගැනීම එදිරිසිංහ වගේ කෙනෙකුට දායදයක්! දෙයියෝ දුන්න දායාදයක්!”

“එතකොට අවුරුද්දේ පූජාව?”

“කිසි කරදරයක් නෑ. ග්රාම්ය විශ්වාස, සිරිත් විරිත්, සංස්කෘතිය, සබ්යත්වය,…. ඕන නම් ජල සංරක්ශනය, සෝදා පාලු මර්දනය…. තේරෙනවා නේද මං කියන එක? එදිරිසිංහ මොක කිව්වත් යටි හිතේ තියෙනවා දෙවියෙක් එයාට වින කරන්න උත්සාහ කරනබව…. එයත් ආපි වගේම මේ රටේම හැදුන කෙනෙක්…. ඉතින් ගමේ අයගෙ ඕනෑකම නිසා - ගැමියන්ගේ ආදි ඇදහීම් රැකගැනීමට…. අවුරුද්දකට සැරයක් පූජාවක් තියෙන එක මහ දෙයක් නෙවෙයි”

අපි ආයෙත් කතා නොකර ඇවිද්දා. මාමා යමක් කිව්වේ ගෙදර පෙනෙන මානයට ආපසුයි.

”මටතියෙන එකම බය තව අවුරුදු සීයකින් අට්ටික්කා පූජාව නුවර පෙරහැරටත් වඩා ලොකුවෙයි කියලා!”